Tuesday, March 29, 2016

3.අපේ දියුණුවට ඔබ අකමැතිද?

අන්තර්ජාලයෙන් 

ගරු අගමැතිතුමනි,
    කිව යුතු සියල්ල පසෙකලා කිවයුත්තක් ඇත.ලංකාව තුල වර්තමාන ආර්ථික තත්වය පිලිබඳ යම් කසුකුසුවක් ගමේ කඩපිලේ සිට ලොකු ලොකු තැන් වල පවා ඇසෙන්නට ඇත.මක් නිසාද කිවහොත් මිනිසුන්ට දැනෙන අමාරු තත්වයක් ඇත්තටම රට තුල ගොඩ නැගී ඇති බව පිළිගත යුතුය.මෙවැනි තත්වයන් තුල ඔබ තුමන් ඇතුළු රජය නිහඬව සිටීම තුලින් අවාසියක් වන්නේද ඔබ ප්‍රධාන රජයට බව අමුතුවෙන් කීමට අවශ්‍ය නොවේ.දේශපාලනික වශයෙන් අනාතව ගතකරන ජිවිත වලට මේවා රජ මගුල් වී ඇති බව පෙනේ.ඔවුන් බොරු බියක් ඇති කරමින් ඔවුන්ට බේරෙන්නට පිදුරුගස් වවමින් සිටින බවක් පෙනේ.අගමැතිතුමනි,වර්තමාන තත්වයන් පිළිබඳව ඔබතුමන් විස්තරාත්මක පැහැදිලි කිරීමක නිරතවන්නේ නම් එය ඇඟට ගුණ බව මතක් කරමි.

                    ගරු අගමැතිතුමනි,රටක දියුණුවට ව්‍යවසායකයින් සැලකිය යුතු දායකත්වයක් ලබා දෙයි.ඒ අතර කුඩා හා මධ්‍යපරිමාන ව්‍යවසායකයින් විශාල බරක් ඔසවයි.නමුත් අවාසනාවකට අද රට තුල ඔවුන්ට සිදු වී ඇත්තේ තම ව්‍යාපාර ඉතා අමාරුවෙන් පවත්වාගෙන යාම හෝ නවතා දැමීමටයි.විශාල පරිමාන ව්‍යාපාර හා තරඟය අද වන විට ඉතාම වැඩි වී ඇත.එය කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ට තනිව මුහුණ දීම අපහසු තත්වයකි.රජයෙන් පවා අනුග්‍රහය ලැබෙන්නේ මහා පරිමාණ ව්‍යාපාර වලටමදැයි සැකයක් මතු වේ.
             රජයේ බැංකු වලින් පවා කුඩා ව්‍යවසායකයින්ට ලැබෙන්නේ කුඩම්මාගේ සැලකිලි බව කියන්නට සිදුවීම කණගාටුවට කරුණකි.ණය පහසුකම් හෝ වෙනත් සේවා සඳහා බැංකු වලින් කිසිඳු සහනයක් නැති බව,සොයා බලන්නට හැකිනම් ඔබතුමාටම ප්‍රත්‍යක්ෂ කරගත හැකි වේ.දිගුකාලින/කෙටි කාලීන ණය,අඩු පොලී ණය වැනි ක්‍රම ඇති කිරීම මගින්ද රජයක් ලෙස ඔවුන්ට සහය විය හැක.රජයේ බැංකු මගින් මූල්‍ය කළමනාකරණ උපදේශන සේවා හඳුන්වා දී ඒවා ඉදිරියටම පවත්වාගෙන යන්නට හැකි නම් මහත් රුකුලකි.දැනට නම් අඩුම තරමින් ගැටලුවකට පිළිතුරක් කෙසේ වෙතත් සුහදශීලිව කතා බහ කරන්නටවත් රාජ්‍ය බැංකු මැනේජර් වරු සුදානම් නැති බව කිව යුතුමයි.හිටපු කර්මාන්ත ඇමතිවරයෙකු ලෙස මේ පිළිබඳව සොයා බලන්නේ නම් එය විශාල සේවයක් බව කියන්නට කැමතියි.සහනශීලි ජංගම ගිණුම් හා අනෙකුත් බැංකු කොන්දේසි මගින්ද කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ට අත හිත දිය හැකිය.කෙනෙකුට මේවා එතරම් වැදගත් නැතැයි සිතන්නට හැකි නමුත්,ව්‍යවසායෙකුට මෙහි වැදගත් කම මිල කළ නොහැකිය.
                අගමැතිතුමනි,රජයේ අවශ්‍යතා සඳහා වැඩි වශයෙන් කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර වෙළඳපලක් ඇති නොකරන්නේ මන්දැයි ගැටලුවකි.කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් කෙරෙහි රජයේ විශ්වාසය නැතිද?නැතිනම් වෙනත් බලපෑමක්ද?රජයේ අවශ්‍යතා බොහෝවිට සපයන්නේ මහා පරිමාණ වෙළඳ ව්‍යාපාර බව කොතනත් පෙනෙන්නට ඇත.කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් දිරි ගැන්වීමට මෙය ක්‍රමයක් කරගන්නට බැරිද?ඇයි ඔවුනට අඩු සැලකිලි?කරුණාවෙන් ඉල්ලා සිටින්නේ,සොයා බලන්න,අවස්තාවක් ඔවුන්ටද ලබා දෙන්න.අත යටින් සිදුවන ගනු දෙනු නිසා ඉදිරියට පැමෙනෙන්නට සිටින දිරිය ව්‍යාපාරිකයන් දිරිමත් කරන්නට ඇති එවැනි අවස්ථා මගහැරීම කණගාටුවට කරුණකි.එනිසා රජයේ සේවා හා අවශ්‍යතා සැපයීමට කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ටත් අවස්තාවක් ලබාදීමට විධිමත් සාධාරණ වැඩපිළිවෙලක් සකස් කරන ලෙස ඉල්ලා සිටිමි.උදාහරණයක් ලෙස විශ්ව විද්යාල සිසුන්ට ලබා දෙන ලැප්ටොප් පරිගණක ණය මගින් ලැප්ටොප් මිලට ගත හැක්කේ නම් කළ මහාපරිමාණ ව්‍යාපාර කිහිපයක් මගින් පමණි.ඒ ආයතන සපයන ලැප්ටොප් වල ගුණාත්මක බව ගැන සැකයක් ඇති බව නොරහසකි.ඒ ආයතන වල මිලට වඩා අඩු මිල ඉහල ගුණාත්මක බවකින් යුතු ලැප්ටොප් ලබාදිය හැකි කුඩා පරිමාණ ආයතන ඇත.මෙයයි අද අප රටේ තත්වය.ඇත්තටම කණගාටුයි අගමැතිතුමනි.
           මම මෙසේ යෝජනා කරමි.ඒ ඒ ප්‍රදේශයේ සියලුම කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර ජාල ගතකොට ඒ ඒ ව්‍යාපාර වල භාහිර අවශ්‍යතා ඒ ජාලය තුලින්ම ඉටු කරගැනීමට ක්‍රමයක් සකසන්නේ නම් එතැනද ඔවුන්ට යම් සහනයක් ලැබෙනු ඇත.නව තාක්ෂණය භාවිතා කොට සැමට වැටහෙන ක්‍රමවේදයක් සකසා එහි ප්‍රතිලාභ ජාලයේ සැමට ලැබෙන සේ සකස් කිරීම යම් සාර්ථක ක්‍රමයක් වේ යැයි සිතේ.එමෙන්ම ප්‍රදේශයේ භාහිර ගනුදෙනුකරුවන්ද සම්බන්ද කිරීම මගින් මහා පරිමාණ වෙළඳ පලක් ඇතිකිරීමට හැකිය.එහිදී ගනුදෙනුකරුටද යම් සාධාරණයක් සිදු වේ.මිල ගණන් හා ගුණාත්මක බව සසඳා තම අවශ්‍යතාව සපුරා ගත හැකි වේ.
         බොහෝවිට ව්‍යාපාරයක් ආරම්භ කරන්නේ ඒ පිලිබඳ මූලික දැනුම්වත් නැතිව වෙන්නට පුළුවන්.දරුවෙකු බිහිකර රැකබලා ගන්නවාක් මෙන් පටන් ගත් ව්‍යාපාරය ගොඩනැගිය යුතුයි.පවත්වාගෙන යා යුතුයි.දියුණු කළ යුතු හා ලාභ ලැබිය යුතුයි.මේ වැනි කටයුත්තකදී උපදෙස්,අවවාද ලැබෙන්නේ නම් එය මහත් රුකුලක් වේ.ලංකාව තුල එවැනි ආයතන රාජ්‍ය හා පුද්ගලික වශයෙන් බොහොමයක් ඇත.ඒවායින් උපදෙස් ලබා ගන්නවා නොව එවැනි ආයතන ඇත්තේ දැයි කීදෙනෙකු දන්නවාදැයි ගැටලුවකි.හේතුව ඒ ආයතන වලින් ප්‍රමාණවත් සහයක් ලැබෙනවාද යන්නයි.අගමැතිතුමනි,ශක්තිමත් වැඩපිළිවෙලක අවශ්‍යතාව මතුවී තිබේ.ඔවුන්ට ශක්තියක් වීම ඔබ ඇතුළු රජයේ වගකීමයි.නොමිලයේ කීයක් හෝ ආධාරයක් දී ඇඟ බේරා ගැනීමේ ශේප් න්‍යාය දැන්වත් නතර කර,ස්ථිර,ප්‍රායෝගික,සාධාරණ වැඩපිළිවෙලක් අවශ්‍යයි.ඒ වැඩපිළිවෙල මධ්‍ය හා කුඩා පරිමාණ ව්‍යවසායකයන් තුලින්ම ගොඩනැගීමට හැකිනම් එහි සාර්ථකත්වය පිලිබඳ සැකයක් තියාගනු අනවශ්‍යය.
          මෙම ලිපි ඔබට කියවන්නට නොලැබෙනු ඇත.එහෙත් සුන්දර අනාගතයක් සහිත රටක් ගොඩනගන ඔබ ඇතුළු රජයට මේ පිළිබඳවත් සොයා බලා කටයුතු කරන්නට අදහස් පහල වේවායි ප්‍රාර්ථනා කරමි.අවසාන වශයෙන් කියන්නට ඇත්තේ,කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායක පිරිසද මේ රටේ කොටසකි.මේ රටට විශල සේවයක් කරන කොටසකි.දිනෙක විශාල ව්‍යාපාර බිහිවන්නේද මෙතුලින්මය.කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකන්ගේ දියුණුව සඳහාද යම්කිසි වැඩපිළිවෙලක් සකසන්නේ නම්,එය රට වෙනුවෙන් ඉටු කරන යහපතක්ම වන්නේය.කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකන්ගේ දියුණුව යනු රටේ දියුණුවම වේ.රටේ දියුණුවට ඔබ අකමැති නොවේ යයි මා සිතමි.

chandikapa@outlook.com
Share: 

2 comments: