Tuesday, March 29, 2016

3.අපේ දියුණුවට ඔබ අකමැතිද?

අන්තර්ජාලයෙන් 

ගරු අගමැතිතුමනි,
    කිව යුතු සියල්ල පසෙකලා කිවයුත්තක් ඇත.ලංකාව තුල වර්තමාන ආර්ථික තත්වය පිලිබඳ යම් කසුකුසුවක් ගමේ කඩපිලේ සිට ලොකු ලොකු තැන් වල පවා ඇසෙන්නට ඇත.මක් නිසාද කිවහොත් මිනිසුන්ට දැනෙන අමාරු තත්වයක් ඇත්තටම රට තුල ගොඩ නැගී ඇති බව පිළිගත යුතුය.මෙවැනි තත්වයන් තුල ඔබ තුමන් ඇතුළු රජය නිහඬව සිටීම තුලින් අවාසියක් වන්නේද ඔබ ප්‍රධාන රජයට බව අමුතුවෙන් කීමට අවශ්‍ය නොවේ.දේශපාලනික වශයෙන් අනාතව ගතකරන ජිවිත වලට මේවා රජ මගුල් වී ඇති බව පෙනේ.ඔවුන් බොරු බියක් ඇති කරමින් ඔවුන්ට බේරෙන්නට පිදුරුගස් වවමින් සිටින බවක් පෙනේ.අගමැතිතුමනි,වර්තමාන තත්වයන් පිළිබඳව ඔබතුමන් විස්තරාත්මක පැහැදිලි කිරීමක නිරතවන්නේ නම් එය ඇඟට ගුණ බව මතක් කරමි.
Share: 

Friday, December 18, 2015

2.මේ ආර්ථික රොකට් සයන්ස් තියරි නොවේ.


බදු වලට අමතර රටකට ආදායම් සොයා ගැනීමට නම් එක්කෝ නිෂ්පාදන අපනයනය කළ යුතුය.නැතහොත් සේවා සැපයිය යුතුය.නිෂ්පාදන යැයි පවසමින් යල් පැනගිය කර්මාන්ත තුලින් කිසි දිනෙක රටකට සෑහෙන ආදායමක් සොයාගත නොහැක.ලෝකය ජයගන්නට ව්‍යාපාර කරන්නේ නම් නවීන තාක්ෂණය,ව්‍යාපාර උපාය මාර්ග,හොඳ වෙළඳ පල වැනි මුලික දේ වල සිට ආර්ථික රොකට් සයන්ස් තියරි පවා අවශ්‍ය වේ.අවුරුදු ගණනක් එක තැන පල වූ රාජ්‍යක් හැටියට එය ලෙහෙසි නොවේ.එනම් අපට කළ හැකි හොඳම පියවර ඇති හැකියාව තිබෙන ආයෝජක ජනතාව රටට වද්දා ගැනීමයි.නමුත් ඔවුන් කිසි දාක දකින දකින තැන කර්මාන්ත පටන් ගන්නේ නැත.එයට හොඳ පරිසරය අවශ්‍ය කරයි.සිදුහත් කුමාරයා උපත ලබන්නට පෙර පස්මහ බැලුම් බැලුවා මෙන් ඔවුන්ද ආයෝජනය කරන්නට පෙර දහසකුත් දේ සොයා බලයි.මොකද ඔවුන් වියදං කරන්නේ ඔවුන්ගේ මුදල් නිසා.භුමිය,ආරක්ෂාව,අමුද්‍රව්‍ය,රජයේ අනුග්‍රහය පවා ඔවුන් බලාපොරොත්තු වෙන බවද අරුමයක් නොවේ.
   ඒ නිසා ආයෝජකයන්ට හිතකර පරිසරයක් රට තුල ගොඩනැගිය යුතුයි.මීට පෙර කලක ආයෝජකයෝ අප රට දෙස හැරී වත් නොබැලුවේ පැවතුනු යුද්ධය නිසා බව නොරහසකි.ලාංකීය පුතුන්ගේ කර පිටින්ම එයත් දැන් අවසන්ව ඇත.එසේ වුවත් හරි හැටි පරිසරයක් ගොඩ නැගී නැත.විදෙස් කුමන්ත්‍රණ යැයි පවසන ඊනියා දේශප්‍රේමින් කෑගසන තුරු මෙතැනට එන්නට පිට වුන් කැමති වේවියැයි සැකයකි.මක් නිසාද ලොකු සල්ලියක් යටකොට වැඩක් පටන්ගත් තැන කැරලි කරුවෝ එය විනාශ කලොත් පාඩුව ඔවුන්ටමය.ඉතිං ඔතන සඳහන්ව ඇත්තේ කීපයක් පමණයි.සරලවම කියතොත් ආයෝජකයන්ට හිතකර රටක් ඇතිවන තාක් අපිට හරිහමන් ආදයාම් මාර්ගයක් සොයා ගැනීම අපහසු බවයි.එයට ශ්‍රී ලාංකිකයෝ සෑම දෙනෙක්ම ධනාත්මකව සිතා කටයුතු කළ යුතු අතර,පටු දේශපාලන වාසි තකා ක්‍රියා කරන තාක් අපේ රට තව දුරටත් එකතැන පල් වෙන එක නවත්තවනු නොහැකිය.
     ගරු අගමැති තුමනි,නිෂ්පාදනය මෙන්ම සේවා සැපයීම මගින්ද රටක ආදායමට යම් බලපෑමක් කරගත හැකි බව ඔබට අලුතෙන් උගැන්විය යුතු දෙයක් නොවේ.රටට ලඟා වෙන සංචාරකයෝ බලාපොරොත්තු වන්නේ හොඳ නිවාඩුවක් බව කාටත් වැටහේ.නමුත් ඔවුන් සමහර කුට වෙළඳුන්ට,මිනිසුන්ට හසුවී සිත් අමනාපයෙන් පිට වේ නම් සංචාරක ව්‍යාපාරයට කෙතරම් පාඩුවක්ද.සේවාසපැයීම් මගින් ආදායමක් බලාපොරොත්තු වන අපට විශාල පහරකි.මුදල් ගෙවා ලංකාවේ නිවාඩුවක් ගත කිරීමට හෝ වෙනයම් අවශ්‍යතා සඳහා පැමිණෙන සංචාරකයන් මෙරටට පය තැබූ තප්පරයේ සිට ඔවුන්ව රැක බලා ආරක්ෂාව සැපයිය හැකි යම් වැඩපිළිවෙලක් ඇතිකළ හැකිය.නවීන තාක්ෂණය භාවිතයෙන් එය සිදු කිරීම ඇත්තටම පහසු දෙයකි.මේ හරහා ඔවුන්ට මගතොටකදී කරදරයක් වුවත් එයට විසඳුමක් හෝ තිබීම මගින් අප ගැන යම් පැහැදීමක් ඇතිකර ගත හැකිය.මහා ලොකු උත්සව,සමුළු,දින,මුද්දර නිකුත් කිරීම් සිදු කරන අතරතුර මෙවැන්නක් කළ හැකිනම් එය කෙතරම් අගනේද?එවන් රටකට වරක් ආ සංචාරකයෙක් තවත් වරක් නොපැමිනේවිද?එන්නට ඉන්නා කෙනෙකු නවත්වාවිද?අගමැති තුමනි,මේවාට උදවු ගත හැකි දැනුමැති,ආකල්ප ඇති තරුණ පිරිස් ලංකාව තුල එමට බව කියන්නට කැමතියි.කොමිස් ගසන පගා පප්පලා අරක් ගත් රාජ්‍ය ආයතන වලට එවැනි වැඩක් කළ හැකි පිරිස් සම්බන්ද කරගනිමින් අලුත් වැඩ පිළිවෙලක් අවශ්‍ය නොවේද?යහපත් ලෙස ගනුදෙනු කරන්නේ කෙසේදැයි උපදෙස් ලබා දී කුඩා කර්මාන්ත කරුවන්ට තම නිෂ්පාදන හා සේවා අලෙවි කිරීමට සංචාරකයන් පෙළ ගස්වා දෙන්නේ නම් රැකියා විරහිත කීප දෙනෙකු හෝ ලිස්ට් එකෙන් ඉවත් කරගැනීමට නොහැකි වේවිද?අන්න ඒ දින සංචාරකයෝ මෙන්ම අපේ රටේ ජනතාවද රට ගැන පැහැදෙනවා ඇත.අවාසනාවකට ඔවැනි දේ වල ආරම්භක උත්සව විශාල වියදමකින් පවත්වා එය එතැනින්ම නිම කිරීම දැනට සිදු වී ඇති දෙයයි.කූට වෙළෙන්දෝ තම ව්‍යාපාර දිගටම කරගෙන යන අතර,කිසිඳු සැනසීමක් නැති රටකට සංචාරකයෝ නැවත ඒවිද?
   අගමැති තුමනි,එතැනින් එහාට ඇඟ බේරා ගන්නට රජයක් ලෙස නොහැකිය.අලුත් කර්මාන්ත,සේවා,ඇතිවන තැන්හි පරිසර දුෂණය,සමාජ ප්‍රශ්ණ වැනි අතුරු ඵල නොලැබේ යැයි සිතීම බොරුවකි.එසේනම් ඒවාටද මුහුණ දිය යුතුය.පවුලේ පියා වැඩිපුර මුදල් සොයන්නට ගොස් පවුල අතර සම්බන්දතා බිඳිය හැක,වෙනත් ප්‍රශ්න මතුවිය හැක,ඉතිං ඒවාටද පිළියම් සෙවීම තාත්තාගේ වැඩක් සිතා පවුලේ අනිත් උදවියට කර ඇරිය නොහැකිය.අප පිළිගත යුතුය,තනිව නැගිටීමට අපහසුය.උදවු අවශ්‍යය.නමුත් හිඟමන් යැදීම අනවශ්‍යය.එන්න ව්‍යාපාර අරඹන්න.හරියට කරන්නට හැකිනම් අපේ සහයෝගය ලැබෙනු ඇත.අප ලබා දිය යුතු පණිවිඩය එයයි.උදේ සිට හවස් වෙනතුරු ඔවුන්ට බැනීම නොවේ.
    ඉතිං කලින් කී සේ අප වෙනස් විය යුතුය.ජනතාවක් ලෙස ආකල්පමය වෙනසක් අවැසිය.ඉතිං ඒවාටද විකල්ප සොයමින් ආදායම් මාර්ගයක් සොයාගැනීම කළ යුතුය.
Share: 

Monday, December 7, 2015

1.වැඩිපුර 50ක් සොයන්න.

Image Source - Internet


දීර්ග කලක් තිස්සේ පුරුදුව එන පුරුදු වෙනස් කිරීම ඉතා අපහසු දෙයකි.සුරුට්ටු උරන්නට පුරුදුව උන් අයෙකු එයින් මුදවා ගැනීමට කෙතරම් වෑයමක් දැරිය යුතුද?ශ්‍රී ලංකාව,එහි ආර්ථිකය,ජන ජීවිතය වෙනස් මගකට ගැනීමද සුරුට්ටු උරන්නෙකු ඉන් මුදවා ගැනීම වැනිය.මා විශ්වාස කරන පරිදි එම අතිශය අවධානම් ව්‍යාපෘතියේ මුලිකත්වය ඇත්තේ අගමැති තුමන් අතයි.
                දූපත් මානසිකත්වයත්,ඉතිහාසය ගැන ඇති අධි තක්සේරුවත් නිසා ශ්‍රී ලාංකිකයෝ තමා,තම කෙරුවාව ගැන සිටින්නේ පුහු මානයක් හිසතිවයි.නමුත් කැටි කොට ගත්කළ මෑත ඉතිහාසයේ පටන් දක්නට ඇත්තේ අධික පසුබෑමකට,පරාජයකට ලක්වූ පුස් වෙඩිල්ලක් වැනි හරයකි.වරද කාගේදැයි නිශ්චිතව කෙනෙකු නම් කළ නොහැකි අතර එය සමස්ථ රටේම ජීවත්වෙන උදවිය දායක වී ඇතිකරගත් තත්වයකි.ඇත්තේ අතීත රජවරු කළ කී දෑ ගැන පුරාජේරුව පමණි.රට යටත් විජිතයක් වූ නිසා මෙය සිදු වී යැයි කියන්නේ නම් එයද සාධාරණ හේතුවක් නොවේ.මක්නිසාද දියුණු වෙන්නට අවශ්‍ය නම් ඔවුන්ගෙන් ලැබුණු සම්පත් බොහෝයි.අප සැමදා කතා කරන්නේ ඔවුන්ගෙන් ලැබුණු අයහපත ගැන පමණි.නමුත් ඔවුන්ගෙන් ලද කර්මාන්ත තවමත් අපට විදේශ විනිමය ගෙන එයි.ඔවුන් දායාද කළ රේල් පීලි මත තමවත් කොච්චි රෝද කැරකෙයි.අප කලයුත්තේ අපට අහිමි වූ දේ ගැන සෝතාප වීම නොවේ.අපට ඇති,අපට හිමිවූ දේ මොනවාදැයි සොයා බලා එයින් ප්‍රයෝජනයක් ගැනීමයි.
                          රටක් ඉදිරියට යන්නට අවශ්‍යනම් මුලින්ම රටේ රටවැසියන්ගේ ආකල්ප දියුණු විය යුතුය.දියුණුව කරා යන ආකල්ප ඔවුන් තුල තිබිය යුතුය.ෂෝට් කට් මානසිකත්වයෙන් අප රට දියුණු කළ නොහැක.එදාවේල ටුවර්ස් අමතක කලයුතුය.ඔබට නැතත් ඔබේ දරුවාට දීප්තිමත් අනාගතයක් සහිත නිදහස් රටක් අවැසි නම් අද අප පටි තදකරගත යුතුමය.යුද්ධයෙන් ප්‍රතිවාදීන් පරාජය කලද අපි නිදහස් රටක් යයි කියන්නට හැකිද?ඔබ රැකියාවක් කරයිනම් ඔබට වැටුපක් ලැබේ.ඔබ එය මනා ලෙස කළමනාකරණය නොකරන්නේ නම් ඔබට වැටුප ප්‍රමාණවත් නොවේ.මාසයේ අවසාන සති කිහිපය ඔබට 'ණයක්' අවශ්‍ය නම්?...ඔබ නිදහස්ද?අවශ්‍යතා ඇතිනම්,ඒවා සැපිරීමට මුදල් නැතිනම් දෙවතාවක් සිතන්නට ඉඩක් නැත.
                    ඇයි ඔබට මුදල් ප්‍රමාණවත් නොවුනේ?ඔබේ ආදායම ඔබේ අවශ්‍යතාවන්ට ප්‍රමාණවත් නොවේ,නැතිනම් නාස්තිය නිසා අපතේ යන ප්‍රමාණය අධිකය.ඔබ කලයුත්තේ ඔබේ ගැටලුව හඳුනා ගැනීම,හා එයට නිසි පිලියමක් යෙදීම නොවේද?"ණය"එයට පිලියමක් යැයි සිතන ඔබට සිදුවන්නේ ඔබ ගැටලුව තුල තව තවත් පැටලවෙනු මිස අන් කුමක්ද.
                  ආර්ථිකය පිලිබඳ රොකට් සයන්ස් පසෙකින් තබා සරලව ගත්කළ රටක ආර්ථිකය හා පවුලක ආර්ථිකය අතර වෙනසක් නැත.ආදායම , වියදම අතර මේ ආර්ථිකය රඳා පවතී.ඔබේ පවුලට 100ක් අවශ්‍යනම්,ඔබ 150ක් සොයා 100ක් නාස්ති කළත්,ඔබ 50ක් සෙවුවත් ඉරණම වෙනසක් නොවේ.එක්කෝ ඔබ නාස්තිය අවම කරන්න.නැතිනම් වැඩිපුර 50ක් සොයන්න.මා විශ්වාස කරන පරිදි ශ්‍රී ලංකාවට 50ක් වැඩිපුර සෙවිය යුතුය.පසුගිය කාලයක් තිස්සේ අප එයට ගත් විසඳුම "ණය ගැනීමයි."..ගන්න පුළුවන් හැම අස්සක් මුල්ලකින්ම ණයට ගත් අපි අභිමානවත් ද?කෙලින් හිටගත් ජාතියක්ද?.ඉතිං අපේ රට නිදහස්ද?

 ඉදිරියට. . .
Share: 

Saturday, October 24, 2015

සුභ පැතුම හා ඇරඹුම

සිරි ලංකාව තුල යමක් කළහැකි හා කිරීමට උවමනාව ඇති ,හොර බොරු නැති චකිතයකින් සැකයකින් තොරව ගරු කළහැකි ජනතා නායකයින් සිටිනම්  ඒ අල්පයකි.එම නම් ලයිස්තුවේ මුලින්ම රැඳෙන නාමය ඔබතුමා බව අවිවාදයකි.ඉතිං එවැනි තත්වයක් උඩ මහජනතාව වශයෙන් එදිනෙදා අපට හමුවන ගැටළු හෝ නැගෙන අදහස් පැවසිය හැක්කෙක් වෙත්නම් ඒ ඔබතුමා නොවනේද.
      විවිධාකාර පරාජයන් රාශියක් අවසන ලද ජයග්‍රහණය ජනතා ජයක් කිරීමට ඔබට අවශ්‍ය බව සෑම තැනෙකම කියැවෙන්නකි.නමුත් එය එසේ සිදුකරත්දී නැගෙන බාධක අප්‍රමාණ වේ.මේ අපහසු කාර්යය ඔබතුමන්ට පමණක් කල හැකි දෙයක් නොවේ.අලුත ඉපැදෙන්නට ඉන්නා කිරිකැටියාගේ සිට අද්දැකීම් පිරි මහළු මිනිසා දක්වා සියලු ලංකා වාසීන්ගේ සහයෝගය නැත්තේද ඔබේ උත්සාහය වතුරේ යනු නොඅනුමානයි.
   ගරු අගමැති තුමනි,ලද ජයග්‍රහණයට හදවතින්ම සුභ පතමි.එමෙන්ම සිරි ලංකාව සැබෑම සිරි ලංකාවක් කිරීමට ඔබ යන ගමනට ඉදිකටු තුඩක ප්‍රමාණයකින් හෝ දායක වීම මෙම ලිපි වලින් බලාපොරොත්තු වෙමි.ඔබට මේ ලිපි කියවන්නට ලැබෙතැයි කිසිදා නොසිතමි.නමුත් එසේ ලැබුනොත්,මේ ලිපි ඔබ හීන මවන සැබෑම අසිරිමත් ලංකාවක් කෙරෙහි ගමනට ඉහත කීවාක් මෙන් අදිකටු තුඩක හෝ සහයක් වෙතැයි අපේක්‍ෂා කරමි.
            ලිපි කියවන ඔබ ඔබේ අදහසත් එකතු කිරීමට කාරුණික වන්න.ගල්,මල් මඩ සියල්ල සතුටින් බාර ගනිමි.ස්තුතියි.
Share: