Monday, December 7, 2015

1.වැඩිපුර 50ක් සොයන්න.

Image Source - Internet


දීර්ග කලක් තිස්සේ පුරුදුව එන පුරුදු වෙනස් කිරීම ඉතා අපහසු දෙයකි.සුරුට්ටු උරන්නට පුරුදුව උන් අයෙකු එයින් මුදවා ගැනීමට කෙතරම් වෑයමක් දැරිය යුතුද?ශ්‍රී ලංකාව,එහි ආර්ථිකය,ජන ජීවිතය වෙනස් මගකට ගැනීමද සුරුට්ටු උරන්නෙකු ඉන් මුදවා ගැනීම වැනිය.මා විශ්වාස කරන පරිදි එම අතිශය අවධානම් ව්‍යාපෘතියේ මුලිකත්වය ඇත්තේ අගමැති තුමන් අතයි.
                දූපත් මානසිකත්වයත්,ඉතිහාසය ගැන ඇති අධි තක්සේරුවත් නිසා ශ්‍රී ලාංකිකයෝ තමා,තම කෙරුවාව ගැන සිටින්නේ පුහු මානයක් හිසතිවයි.නමුත් කැටි කොට ගත්කළ මෑත ඉතිහාසයේ පටන් දක්නට ඇත්තේ අධික පසුබෑමකට,පරාජයකට ලක්වූ පුස් වෙඩිල්ලක් වැනි හරයකි.වරද කාගේදැයි නිශ්චිතව කෙනෙකු නම් කළ නොහැකි අතර එය සමස්ථ රටේම ජීවත්වෙන උදවිය දායක වී ඇතිකරගත් තත්වයකි.ඇත්තේ අතීත රජවරු කළ කී දෑ ගැන පුරාජේරුව පමණි.රට යටත් විජිතයක් වූ නිසා මෙය සිදු වී යැයි කියන්නේ නම් එයද සාධාරණ හේතුවක් නොවේ.මක්නිසාද දියුණු වෙන්නට අවශ්‍ය නම් ඔවුන්ගෙන් ලැබුණු සම්පත් බොහෝයි.අප සැමදා කතා කරන්නේ ඔවුන්ගෙන් ලැබුණු අයහපත ගැන පමණි.නමුත් ඔවුන්ගෙන් ලද කර්මාන්ත තවමත් අපට විදේශ විනිමය ගෙන එයි.ඔවුන් දායාද කළ රේල් පීලි මත තමවත් කොච්චි රෝද කැරකෙයි.අප කලයුත්තේ අපට අහිමි වූ දේ ගැන සෝතාප වීම නොවේ.අපට ඇති,අපට හිමිවූ දේ මොනවාදැයි සොයා බලා එයින් ප්‍රයෝජනයක් ගැනීමයි.
                          රටක් ඉදිරියට යන්නට අවශ්‍යනම් මුලින්ම රටේ රටවැසියන්ගේ ආකල්ප දියුණු විය යුතුය.දියුණුව කරා යන ආකල්ප ඔවුන් තුල තිබිය යුතුය.ෂෝට් කට් මානසිකත්වයෙන් අප රට දියුණු කළ නොහැක.එදාවේල ටුවර්ස් අමතක කලයුතුය.ඔබට නැතත් ඔබේ දරුවාට දීප්තිමත් අනාගතයක් සහිත නිදහස් රටක් අවැසි නම් අද අප පටි තදකරගත යුතුමය.යුද්ධයෙන් ප්‍රතිවාදීන් පරාජය කලද අපි නිදහස් රටක් යයි කියන්නට හැකිද?ඔබ රැකියාවක් කරයිනම් ඔබට වැටුපක් ලැබේ.ඔබ එය මනා ලෙස කළමනාකරණය නොකරන්නේ නම් ඔබට වැටුප ප්‍රමාණවත් නොවේ.මාසයේ අවසාන සති කිහිපය ඔබට 'ණයක්' අවශ්‍ය නම්?...ඔබ නිදහස්ද?අවශ්‍යතා ඇතිනම්,ඒවා සැපිරීමට මුදල් නැතිනම් දෙවතාවක් සිතන්නට ඉඩක් නැත.
                    ඇයි ඔබට මුදල් ප්‍රමාණවත් නොවුනේ?ඔබේ ආදායම ඔබේ අවශ්‍යතාවන්ට ප්‍රමාණවත් නොවේ,නැතිනම් නාස්තිය නිසා අපතේ යන ප්‍රමාණය අධිකය.ඔබ කලයුත්තේ ඔබේ ගැටලුව හඳුනා ගැනීම,හා එයට නිසි පිලියමක් යෙදීම නොවේද?"ණය"එයට පිලියමක් යැයි සිතන ඔබට සිදුවන්නේ ඔබ ගැටලුව තුල තව තවත් පැටලවෙනු මිස අන් කුමක්ද.
                  ආර්ථිකය පිලිබඳ රොකට් සයන්ස් පසෙකින් තබා සරලව ගත්කළ රටක ආර්ථිකය හා පවුලක ආර්ථිකය අතර වෙනසක් නැත.ආදායම , වියදම අතර මේ ආර්ථිකය රඳා පවතී.ඔබේ පවුලට 100ක් අවශ්‍යනම්,ඔබ 150ක් සොයා 100ක් නාස්ති කළත්,ඔබ 50ක් සෙවුවත් ඉරණම වෙනසක් නොවේ.එක්කෝ ඔබ නාස්තිය අවම කරන්න.නැතිනම් වැඩිපුර 50ක් සොයන්න.මා විශ්වාස කරන පරිදි ශ්‍රී ලංකාවට 50ක් වැඩිපුර සෙවිය යුතුය.පසුගිය කාලයක් තිස්සේ අප එයට ගත් විසඳුම "ණය ගැනීමයි."..ගන්න පුළුවන් හැම අස්සක් මුල්ලකින්ම ණයට ගත් අපි අභිමානවත් ද?කෙලින් හිටගත් ජාතියක්ද?.ඉතිං අපේ රට නිදහස්ද?

 ඉදිරියට. . .
Share: 

0 comments:

Post a Comment